Friday, 5 July 2019

ආචාර්ය ලීල් ගුණසේකර විසින් රචිත “ පෙත්සම ” නව කථාවෙහි නිර්මාණාත්මක ලක්ෂණ විමසා බලමු.....


ආචාර්ය ලීල් ගුණසේකරයන්ගේ වත ගොත 


1932 දෙසැම්බර් 9 වැනිදා කැස්බෑව බණ්ඩාරගම පාරේ පිහිටි ජඔුරලිය නැමැති ගමේ ආචාර්ය ලීල් ගුණසේකරයන් උපත ලබන ලදි. ඔහුගේ පියා සරනේලිස් ගුණසේකර වන අතර මව පොඩිනෝනා ගුණසේකර නම් විය. දරුවන් අට දෙනෙක්ගෙන් යුතු පවුලේ දෙවැනි දරුවා වුයේ මොහුය. ගමේ පාසලෙන් පහේ ශිෂ්‍යත්ව විභාගය සමත් වු මොහු ඩෙන්හැම් ශිෂ්‍යත්ව ආධාරයක් ලැබුණේය. ඉන් අනතුරුව 8 පනන්තියේදී ඉංග්‍රීසි අදයෘඵණ්‍ය ලභෘ ගත යුතු යැයි සිතන ලීල් ගුණසේකර පානදුර ශාන්ත ජෝන් විදුහලට ඇතුළත් වූයේය. ඔහු දක්ෂ ශිෂ්‍යයෙක් වූ අතර විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට සුදුසුකම් ලබන ලදී. 1950 වසරේදී විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා 1952 දී කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට ඇතුළත් වුණි. නමුත් එම කලා පීඨය පේරාදෙණි විශ්වවිද්‍යාලයට ගෙනගිය අතර ඔහුට පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් 1957 දී ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත්තේය. ඉන් ඉවත් වූ පසු ඔහු සිවිල් සේවයට පිවිසුනු අතර දිස්ත්‍රික්ක පහක දිසාපති තනතුර හෙබවූ ලීල් ගුණසේකරයන් 1961 දී පෙත්සම නවකතාව ලියමින් නවකතාකරණයට පිවිසෙන ලදී.
ලීල් ගුණසේකරයන් නිර්මාණය කරන ලද අත්සන (1963), මං නැතිදා (1965) යන නවකතා තුනටම පාදක වී ඇත්තේ ඔහු අනුරාධපුර දිසාපති ලෙස සේවයකරමින් සිටි කාලයේ ලැබූ අත්දැකීම් අනුසාරයෙනි. මොහු කෑගල්ලේ දිසාපතිවරයා වශයෙන් සේවය කරන කාලය තුළ දී ඉර හඳ කොඩියට අධිපති පෙදෙසේ (1972) යන කෙටිකතා සංග්‍රහය ද රත්නපුරේ සිටියදී බුහුටිගේ නෑයෝ (1984) ළමා සංග්‍රහය ද, කලුතර දිසාපතිව සිටියදී ත්‍රිකෝන අරගලය (1976) යන කාව්‍ය සංග්‍රහය ද රචනා කළ ඔහු කාලීන රචනා, සිංහල හටන් හා ප්‍රශස්ත, චීන චාරිකා සටහන්, සමාජ සංවර්ධන ලිපි ලේඛණ, ආසියා ශාන්තිකර රටවල සමාජ සංවර්දන විමර්ශන වාර්තා, ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සංවිධාන, හෙලන් කෙල ස්වාධීන කෘති ද, ජාත්‍යන්තර කම්කරු ප්‍රඥප්ති, මැනිටෝවා කළමනාකරණය අත්පොත, විවිධ සම්මන්ත්‍රණ වාර්තා යන පරිවර්තන කෘති ද ලියා පලකරන ලදී.
එසේම ශ්‍රී ලංකා සාහිතය මණ්ඩලයේ සාහිත්‍යය සඟරාවේ, ශ්‍රී ලංකා ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ පොත් පුවත් සඟරාවේ, ශ්‍රී ලංකා සමාජ සේවා මණ්ඩලයේ සමාජ සංවර්ධනය සඟරාවේ ආරම්භක සංස්කාරක ධූරයේ වූයේ මොහු ය. ජයවර්ධනපුර සරසවියේ ශ්‍රාස්ත්‍රපති උපාධිය ලබාගත් මොහු ලංකාවේ සමාජ වෙනස්වීම් හා වැඩිහිටියන්ගේ ප්‍රශ්න පිළිබඳ පැන නගින අභියෝග සඳහා ක්‍රමෝපායන් නමැති ශ්‍රාස්ත්‍රීය පර්යේෂණය උදෙසා ආචාරය උපාධියක් ලබන ලදී. පසුව රජරට විශ්විද්‍යාලයේ කුලපතිවරයා වශයෙන් පත් වූ අතර එදා මෙතුර සංස්කෘතියට හා සාහිතයයට සිදුකළ සේවය අගයා 2007 වසරේ පැවති රාජ්‍ය කලා මහෝත්සවයට “දේශනේතෘ” සම්මානය හිමිකරගන්නා ලදී. උපාධිධාරී ගුරුවරියක වූ ඉන්දුමතී නැමති කුල කුමරිය හා විවාහ වූ මොහු දියණියන් දෙදෙනෙකුගේ පියෙකි.
                                 ..........................................................................................
             සම්මානනීය ලේඛකයෙකු වූ ලීල් ගුණසේකරයන් 1961 වර්සයේ රචනා කල පෙත්සම නවකතාව තුළට ඔහු අනුරාධපුරයේ දිසාපතිවරයෙකු ලෙස කටයුතු කරමින් නුවර කලාවිය ප්‍රදේශයෙන් ඔහු ලත් අත්දැකීම් සම්භාරය රජරට ජන ජීවිතය පසුබිම් කරගන්මින් මෙම නවකතාව නිර්මාණය කිරීමට ප්‍රවිශ්ඨ විය. සාමාන්‍ය වැසියන්ගේ දුක් දොම්නස් හඳුනාගනිමින් පාලන අධිකාරීත්වයට යටත්ව සිටින සාමාන්‍ය වැසියන් ද ගමේ පාලකයින්ගේ අසාධාරණ පාලන රටාවන් ද සියැසින් දැකගැනීමට ඔහුට අවකාශය උදා විය. පොදු ජනතාවගේ හිත සුව පිණිස ක්‍රියා කරන මොහු එම රජරට ප්‍රදේශයේ සමාජ පන්තිය විමසා බැලීම පෙත්සම නව කතාව නිර්මාණය කිරීමට අවතීර්ණ විය. පෙත්සම නවකතා පොතෙහි ශාස්ත්‍රීය විග්‍රහයක් කරන මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු විද්වතානන් මෙහි අන්තර්ගතය පිළිබඳව කෘතියට පෙරවදනක් සපයමින් පවසන්නේ,
“ පෙත්සම නවකතාවට පදනම් වන්නේ භෞතික හා අභෞතික බලවේග මගින් පීඩනයට පත්වන මිනිසා තම පරිසරය ජය ගන්නට දරණ ශෝකජනක ප්‍රයත්නයය. මෙම සමාජ සංසිද්ධිය කතුවරයා නවකතාවට ප්‍රවිශ්ඨ කරවන්නේ පරිපාලන නිලධාරියෙකු වශයෙන් මෙන්ම කදිම සංවේදී නිරීක්ෂකයෙකු වශයෙන් තමන් ලද අත්දැකීම් පදනම් කොට ගැනීමෙනි.” යනුවෙනි.
සාර්ථක නවකතාවක් ලෙස අපට පසක් වෙනුයේ නිර්මාණය කර වසරක් ගත වූ පසු එනම් 1962 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකරගැනීමට සමත් වීමත් සමඟය. රජරට ජනවැසියා තම කෘෂිකර්මාන්තය හා වටා බැඳුණු ජන ජීවිතයක් ගතකරයි. 60 දශකයේ රජරට වැසියන්ට මුහුණ පෑමට සිදුවන දුක්දොම්නස් ඉතා සංවේදීව නිරූපනය කරමින් ද පාලන තන්ත්‍රයේ හා ස්වභාව ධර්මයේ බලවේග වලින් පීඩා විඳින ගැමියා ස්වාභාවික පරිසරයත් සමඟ උරෙන්උර ගැටෙමින් කටයුතු කර ජයගන්නට දරන උත්සාහය ශෝකජනක ලෙස මෙම පෙත්සම නවකතාව තුළින් නිරූපණය කර ඇත. කතා පුවතේ අන්තර්ගතය ප්‍රධාන තේමා තුනක් ඔස්සේ ගලා යන බව කියවීම තුළදී අපට දැකගත හැකිය. එනම්, මෙහි වැව්ගම්මානයේ අසරණ ගැමියාට පාලන තන්ත්‍රයේ එල්ල වන බලපෑම්, ස්වභාව ධර්මයෙන් එල්ල වන බලපෑම් හා ඒ තුළින් සමාජයේ නිර්මාණය වන නව පරපුරක නිර්මාණය සනිටුහන් වන ආකාරය පෙන්වා දිය හැකිය. 
කතුවරයා මෙහිදී සරල සූක්ෂම ලෙස පාඨක හදවත් තුළ සිතුවම් කිරීමට කතුවරයා සමත් වූ ආකාරය හඳුනාගත හැකිය. පාලකයන්ගේ නිල ධන බලයට යටත්ව සිටින නිලධාරීන්, බල රහිත අසරණ බහුතර ගැමියන් පීඩාවට පත් වන අයුරු මෙහිදී කථකයා වන තිලකරත්නගේ චරිතය වටා ගොතා ඇති ලේඛකයා වන ලීල් ගුණසේකරයන් මෙහිදී කතාවෙන් බැහැර වී සිටින අතර කථකයාගේ ස්වරූපයෙන් තමන් ව ඉස්මතු වීම වැලැක්වීමට ලේඛකයාට උපකාරී වන්නේ දෘෂ්ටිකෝණයයි. නවකතාකරණයේදී ප්‍රධාන වශයෙන් උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය හෝ ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය ලේඛකයාට තම ඉදිරිපත් කිරීම තුළ දී වැදගත් වේ.

පෙත්සම නවකතාව සඳහා ලේඛකයා වන ලීල් ගුණසේකරයන් උපයෝගී කරගෙන ඇත්තේ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයයි. එනම් “මම” යන තැන සිට කථකයා සමස්ථ කතා පුවත ඉදිරිපත් කරනු ලබයි. කතුවරයා උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය ඔස්සේ ද පාඨකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යාමට උත්සාහ දරා ඇති බව මෙම නවකතාව නිරීක්ෂණයේදී විග්‍රහ කළ හැකිය. මෙහිදී පාලන තන්ත්‍රයේ බලපෑම නිරූපනය කර ඇත්තේ ගමේ පාලකයන් වූ ඇස්. ලොකු බණ්ඩාර, හිටපු විදානේ, මැනේජර් මහත්මයා, ආරච්චි මහත්තයා හි වැව් විදානේ යන පුද්ගලයන් ද, රාජ්‍ය පාලකයන් ලෙස උප දිසාපති, ඒජන්ත හා ඇමතිවරුන් පිළබඳ අධ්‍යයනය කිරීමේන් නිරූපනය වේ. මෙහිදී කථකයා වී ඇත්තේ තිලකරත්න නම් චරිතයයි. ගමේ අවුරුද්දේ වැඩි කාලයක් වර්ෂාව නොලැබෙන හෙයින් සියඹලා වැව නම් වැවේ ජලය පිහිටෙන් කුඹුරු අස්වද්දනු ලබයි. මේ ගමේ වූ ඇස්. ලොකු බණ්ඩාර නම් හිටපු විදානේ වැවේ හිමිකාරීත්වය තමන් සතු කරගෙන අසරණ ජනයාට කුඹුරු අස්වැද්දීමට අවශ්‍ය වැව් ජලය ලබා නොදීමට ක්‍රියා කරයි. ඔහුගේ අනුවණ ක්‍රියාකාරකම් බොහෝ ගැමියන් ඉවසා සිටිය ද තිලකරත්නගේ මව හා පියා වූ ඩිංගිරි බණ්ඩාර, ටිකිරි මැණිකා ඔවුනට හිතපක්ෂ වූ විදානේ මාමා ඊට එරෙහිව පෙත්සමක් ලියා ඒජන්ත උන්නාන්සේ වෙත ඉදිරිපත් කිරීමට ක්‍රියාත්මක වේ. මෙහිදී පැරණි කච්චේ්රි භූමියක සිතුවම පාඨක මනසෙහි චිත්‍රණය කිරීමට ලේඛකයා දක්වන දක්ෂතාවය ප්‍රකට වේ.
යටත් විජිත පාලනයේ ප්‍රතිඵලයක් ලෙස ලැබූ ඉංග්‍රීසි භාෂාව පාලන තන්ත්‍රයේදී ප්‍රධාන භාෂාව ලෙස සැලකීමට ගත් නිසා එමගින් අසරණ වූයේ නූගත් ගැමියා ය. පහත ප්‍රකාශනයෙන් එය මනාව දිස් වේ.

“ මේ පොතේ ඉංග්‍රීසිවලින් ලීවොත් සත විසි පහක් වැඩියෙන් ඔනෑ. අලුතෙන් ආව ලොකු මහත්තයට වැඩිය ලියන්නේ මේ පොතෙන් ඉංග්‍රීසි වලින්ය. උන්නාන්සේට සිංහලෙන් ලියල වැඩක් නැහැ.”
(පෙත්සම පිටුව 27)
 
අසරණ මිනිසුන් රවටා ඔවුන්ගෙන් මුදල් අය කරන අයුරු වැව් ගම්මානවල මිනිසුන් නිසි අධ්‍යාපනයක් නොතිබුණු බව නිසා ඔවුන් මුහුණපාන අපහසුතාවන් මෙමඟින් ලේඛකයා මනාව චිත්ත රූප ගොඩනගා ඇත. නූගත් මිනිසුන් තමන්ට අවශ්‍ය දෙයක් ඉටු කර ගැනීමට පෙලඹෙන ආකාරය හා ඔවුන්ගේ අසරණභාවය දැක්වෙන්නේ තිලකරත්න තම මව සමඟ පෙත්සම භාරදීමට ගිය අවස්ථාව පෙන්වා දිය හැකිය.
“ අම්මා ඒ මහත්මයාට අත්දෙක වැන්දාය. ”
(එම, පිටු. 27)
 
නූගත් ගැමියන් නිලතල බලය සහිත පන්තියට යටත්ව ජීවත් වන අයුරු මෙහිදී ලේඛකයාා උකහා දක්වා ඇත්තේ මෙලෙසය.

“ හදිසි වෙනක්න එපා. එක එක කියපන්. මම මැෂින් එකක් නොවෙයි.”
(එම, පිටු. 28)
“ සමාවෙන්න මහත්මයෝ. අපේ හිතේ තියන අමාරුවට කියවුණේ. ”
යන ප්‍රකාශනයන්ටගන් එය මනාව නිරූපනය වේ. වැව් ගම්ම්නයන්ගේ වෙසෙන ජනතාවගේ නූගත්කම ද,

“ කවුද ආරච්චි මහත්තයෝ දිසාපති තුමා කියන්නේ? ”
(එම, පිටු. 35)
යන ප්‍රකාශනයෙන් එය නිරූපනය වේ. නියඟය නිසා ආහාර නොමැතිව පිපාසය සහිතව මිනිසුන් පමණක් නොව සතා සිව්පාවෝ ද සා ගින්නෙන් පෙලෙති. වියලි කාලගුණය සමග සටන් කරමින් හේන් වගා කරන ගැමියාට අලිපාළුව ප්‍රබලව තර්ජනයක් වූ බව ලේඛකයා පෙන්වා දෙන්නේ පාඨක සිත් කම්පා කරමිනි.
“ අපේ කරුමෙටමයි මේව වෙන්නේ. දවස දෙවොලේ දහදුක් විදලත්, රැ පැල් ලැගලත් අපට වුණේ හරි අපරාදේ අයියනායක දෙවියන්ටවත් පේන්නේ නැද්ද? ”
(එම, පිටු. 67)
 
ඩිංගිරි බණ්ඩා මෙසේ කියමින් අදෝනි දෙයි. ගැමියන්ගේ දෙවියන් වු අයියනායක දේවියන් මොවුන්ගේ එකම ගැලවුම්කරු වුවත් දෙවියන් තමන්ට පිහිට නොවන බව සිතමින් ගැමියන් කමිපා වේ. අලි පාළුවෙන් වන ආලාභයත් එයට රජයෙන් ලැබෙන ආධාරවත් ගැමියන් අතට පත් නොවී එය සුරා කන ඉහළ පැලැන්තියේ නිලධාරින්ගේ අකටයුතුකම් විද දරා ගනිමින් ගැමි ජනයා අරගලයේ යෙදෙන අයුරු නිර්මාණකරුවා නිරූපණය කිරිමේ දක්‍ෂතාවය අපුරුය.
පෙත්සම නව කතාවේ අවසන් වන්නේ ද දවස මුළුල්ලේ ම වර්ෂාව පතනය වි සියඹලා වැව උතුරා දිය රකුසාට සමස්ත ගම ම ග්‍රහණය වු ආකාරය කථකයා වු තිලකරත්නට දැනෙන්නේ මෙසේය.

“ වැවේ වතුර බොර පාටින්, නොහික්මුණු ගතියෙන් කණ්ඩියට වැදෙන විට මුළු ගම්මානයම වුවත් මට සුන් කරන්නට පුළුවන් යන තර්ජනය අපිට එල්ල කරන සේ හඩක් නැගුණි.”
(එම, පිටු. 153)
ස්වභාව ධර්මයෙන් එල්ල වුණු විපත නිසා බැට කෑවේ දුප්පත් අසරණ ගැමි යාමයි. ගංවතුර නිසා ගැමියන් ඉදිකර තිබු අතර ගැමියන්ගේ දුක අනුරාධපුරේ දිසාපතිතුමාට දන්වා යැවිමට මාර්ගයක් නොවීය. එ වනවිට තිලකරත්න රුකියාවක නියුතු නිසා ගැමියන්ගේ සිත මහත් සොම්නසක් ගෙන දෙම්න් තිලකරත්න ඉදිරිපත් වි දිගින් දිගට ම පෙත්සම් ලියා කෙසේ හෝ යැවිය. ඔහු ලියන ලද පෙත්සමේ සදහන් දුක් ගැනවිල්ල කවියක් පහත පරිදි වේ.
                                    “ වැස්සක් ආවත් දුක පැමිණෙනවා
                                       නියගයක් ආවත් දුක පැමිණෙනවා
                                      අලියෙක් පැන්නත් දුක පැමිණෙනවා
                                      දුප්පත් අපට ම දුක පැමිණෙනවා ” (එම, පිටු. 153)
කලාගම් පළාතේ අසරණ ගැමියන් වර්ෂාව, නියඟය හා අලි පාළුව නිසා හෙම්බත් වි ඇති බව මින් අවධාරණය වේ.
පැවැති සමාජ ක්‍රමය වෙනස් කිරිමට සැරසෙන්නේ කථකයා වු තිලකරත්නයි. මෙහිදි නව පරපුරක උදාව සනිටුහන් කරනු ලබයි. තිලකරත්න එක් අවස්ථාවක දි මෙසේ කල්පනා කරනු ලබයි.

“ කොහොම හරි ගමෙන් පිට ගොස් රක්‍ෂාවක් කරන එක තමයි හොද එතකොට අම්මාටත්. අප්පච්චිටත් ලොකු නම්බුවක්......”
(එම, පිටු. 81)
දරුවන්ට අධ්‍යාපනයේ වටිනාකම දැනිම මෙන් ම එකල මාපියන් තම දරුවන් තමන්ට වඩා ඉහළට ඔසවා දැමිමට කැමැත්තක් දැක්වු බව ද ඉහත ප්‍රකාශනයෙන් පැහැදිලිය. මෙය නව පරම්පරාවේ අපේක්‍ෂාව පිළිබිඔු කරයි.වෙනස් වන සමාජය තුළ තිලකරත්න නව ජිවිතයත් පිළිබද ව සිතන ආකාරයත්, තිලකරත්නගේ සිතෙහි යම් කිසි අරමුණක් තිබුණු බව පැහැදලි වන්නේ,

“ මට රක්‍ෂාවක් ලැබුණොත් පළමුවෙන් ම අම්මාටත්, අප්පච්චිටත් හොද ඇදුම් පැළදුම් ගෙන එමි.”
(එම, පිටු. )
    යන ප්‍රකාශයෙනි. 

පෙත්සම නව කතාවෙහි සිදු වු නව සමාජ විපර්යාසය මෙසේ විග්‍රහ කළ හැකිය. ලේඛකයා මෙහි ප්‍රබලත්වය විදහා දැක්විමට චරිත අධ්‍යයනයේ දි මනාව තහවුරු වේ. නව කථාවේ ප්‍රධාන චරිතය මෙන් ම කථකයා වන්නේ ද තිලකරත්නය. ගමේ පවතින පාලන ක්‍රමයට එරෙහිව නැගි සිටිමත්, ගැමි ජනයාගේ හිතවතා ලෙසත් මොහුගේ චරිතය පෙන්වා දිය හැකිය. තිලකරත්නගේ මවගේ චරිතය ඉතා සංවේදි චරිතයක් ලෙස ලේඛකයා පෙන්වා දිය හැකිය. පෙත්සම භාර දිමට යන අවස්ථාවේ දිසාපති කන්තෝරුවේ දි මුහුණ පෑ අත්දැකිම මත එය ප්‍රස්තුත වේ.
                                         
 “ අම්මා එ මහත්මයාට අත් දෙක බැද වැන්දාය.”
                                             (එම, පිටු. 27)
 
හිටපු විදානේ ඇස්.ලොකු බණ්ඩාර, මැනේජර් හා ආරච්චි යන පුද්ගල චරිත මෙහි කළු චරිත ලෙස දක්වා ඇත්තේ ගමික පාලකයින්ගේ ආසාධාරණ ක්‍රියා කලාපයන්ගේ යථා තත්වය හෙළිදරව් කිරිමටය.
නව කථාව ආරම්භයේ දි තිලකරත්නගේ දෙමාපියන් මුලික වි ග්‍රාම සංවර්ධන සමිතිය මාර්ගයෙන් ගමේ මිනිසුන්ගේ අත්සන් කොට හිටපු විදානේ ඇසු ලොකු බණ්ඩාට විරුද්ධව මහ එජන්ත උන්නාන්සේට ඉදිරිපත් කළ පෙත්සමහි කරුණු 5 ක් ඇතුළත් කළ ඇති අතර ගැමි ජනයාගේ ඇති දුක් දොම්නස්, ප්‍රශ්න විසදිමට එකල සිට තවමත් ඇති වැව් ගම්මානවල ගැමියන් පිහිටවා ගත් ග්‍රාමීය සමිති සමාගම් තුළින් තම අපේක්‍ෂාවන් මුදුන් පත් කර ගැනිමට ගන්නා උත්සාහය ලේකඛකයා නිර්මාණය කර ඇත්තේ අපුර්ව ලෙස නිරූපණය කර ඇත.
පෙත්සම නව කථාවේ වැව් ගැමියන්ට පාලන පන්තියෙන් වු ආසාධාරණ, අයහපත් සේවය හා ඔවුන්ගේ පීඩිත වු ආකාරය විදානේගේ, මැනෙර්ජර් මහතාගේ හා ආරච්චිගේ චරිත ඇසුරින් පෙන්වා දිය හැකිය.වැව් ගම්මානයක ජිවත් වන පාලකයින්ගේ පිඩිත ක්‍රියා දාමය මැනවින් නිරුපණය කිරිමට මෙහිදි ලේකඛයා උත්සහා ගෙන ඇත.
ලීල් ගුණසේකරයන් පෙත්සම නව කථාවෙහි යොදා ගත් භාෂාව මෙහිද වැදගත් සංධිස්ථානයක් වේ.නව කථා රචනයේ දි වින්දන සන්නිවේදනයට මුලිකත්වයක් ලැබෙන බැවින් භාෂාවෙන් උපරිම ප්‍රයෝජන ගැනිමට ලේඛකයා යොමු විය යුතුය. පෙත්සම නව කථාවේ වැව් ගම්මානයක සමාජ පරිසරයක් දිස් වන බැවින් ගැමි බස් වහරට මුල් තැන ලබා දි භාෂාව ඉතාමත් සරල ලෙස හා අව්‍යාජ ලෙස හසුරුවා ඇති බව ප්‍රකට කළ හැකිය.
“ මේ ගමන නම් විදානේ අයියේ අපේ කොල්ලෝ කුරුට්ටන්ට අවුරුද්දට කැකුළු හාලේ බත් ටිකක් කන්නට පුළුවන්. ”
(එම, පිටු. 11)
 
“ අද උදේ අපි එනකොට දුන් දාන අලිබෙටි. ”
 
“ උඹ පැටියෝ එජන්ත උන්නාන්සේ ළගට ගිය වේලාවට කථා නොකර ඉන්ට ඕනෑ. ”
(එම, පිටු. 34)
            
                ඉහත පාඨ දෙස බලන විට ගැමියන්ගේ මුවින් නිර්ව්‍යාජ ලෙස පිටවන වදන් හා යෙදුම් ඒ අයුරින් ම ඉදිරිපත් කිරිමට ලීල් ගුණසේකරයන් උත්සහ දරා ඇත.
නව කතාව ආරම්භයේ දිම කාව්‍යාත්මක බස් වහරකින් ආරම්භ කර ඇත්තේ මෙසේය.

“ ගමේ වැව වං දැමීම ඉතාම සිරියාවන්තයි.අපේ ගමේ කවුරුවත් සිනහ වන්නාක් මෙන් වැව පිරි ඉතිරි වානෙන් වතුර ඇද හැළේ.සැලකිය යුතු අමුත්තක් නැත්තා සේ කවුරුවත් ඒ අවුරුද්දේ කල් ගෙවුහ.ඒ කුඔුරු වපුරා ගොයම පිදිගෙන එන කාලයයි.”
(එම, පිටු. 11)
 
ලේඛකයා ගැමි ස්වභාවය පාඨකයා වෙත සමිප කිරිමට මෙලෙස කාව්‍යමය ගුණය ආරෝපණය කර ඇත.
උසස් සාහිත්‍යකරුවෙකුට භාෂාව ප්‍රාණවත් ලෙස හැසිරිම සදහා උපමා, පිරුළු හා කියමන් උචිත ආකාරයෙන් යොදා ගනී. ගැමියා අතරින් ම නිර්මාණය වු සරල මෙන් ම ප්‍රකාශ කරන්නා වු දෙයට ඉතාමත් සමිප උපමා, පිරුළු හා කියමන් භාවිතා කර ඇත. එජන්ත උන්නාන්සේට පෙත්සම ඉදිරිපත් කර එහි වු විස්තරය ඩිංගිරි මැණිකා නොනවත්වා ම කියාගෙන ගියාය.එය කථකයා දන්වා ඇත්තේ මෙසේය.
“ අපේ ස්කෝලේ සිකුරාදාට තියන මීටිමේ සෝමරත්නලාගේ නංගී කතාන්දරයක් කියනවා වගේ අම්මා නොනවත්වාම විස්තරේ කියාගෙන ගියාය.”
මෙහිදි කතුවරයා උපමාව යොදා ඇත්තේ කථකයාට සමීපතම අත්දැකිමක් ඇසුරෙනි.ලීල් ගුණසේකරයන් පෙත්සම නිර්මාණය කිරිම සදහා සරල භාෂා ව්‍යවහාර භාවිතය, උපමා, පිරුළු, කියමන් පොදු ජන වහරෙන් ම උකහා ගැනිම, කාව්‍යාත්මක භාෂා ශෛලිය භාවිතා කරමින් සිය නිර්මාණය පාඨකයාට තිළිණ කර ඇත.
පෙත්සම නව කථාව තුළින් ගැමි සංවිධානයන් හා එහි පාලනයන්, ජනශ්‍රැති පිළිබදව (ආගම), ජීවන වෘත්තීන් හා ආර්ථිකය, අධ්‍යාපනය, ගමනාගමන පහසුකම් හා සංවර්ධන මට්ටම යන සමකාලීන සමජයීය පුවත් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළ හැකිය.
රජරට වැව් ගම්මානයේ ජිවත් වන ගැමියන්ගේ නුගත් බවින් බැට කන ගම් වැසියන් පිළිබදවත්, තිලකරත්න නම් චරිතය ඇසුරින් ඔවුන් සමාජානුයෝජනය වන අයුරුත්, ගමේ පාලකයින්ගෙන් පීඩාවට පත් වන අයුරුත් යථාරූපිව මෙන් ම කලාත්මක ව ඉදිරිපත් කිරිමට ගෙන ඇති උත්සාහය පැසසුමට ලක් විය යුතුය.මෙය හුදෙක් සමකාලීන අනුරාධපුරයේ කලාගම් පළාත මතු නොව, සමස්ත ලාංකේය සමාජයේ ම යථාර්ථයක් පිළිබිඔු වන බව නිගමනය කළ හැකිය.

ආශ්‍රිත ග්‍රන්ථ :
➢ ගුණසේකර ලීල්, පෙත්සම, (2011), දයාවංශ ජයකොඩි සහ සමාගම, කොළඔ 10

No comments:

Post a Comment

My Photo Design