Friday, 5 July 2019

මාතර සම්ප්‍රදායන්ගෙන් බිදක්....

මාතර දකුණු ලක නිල්වලා නදී තෙර සමුද්‍රසන්නයේ පිහිටි දර්ශනීය ඵෙතිහාසික නගරයකි. කොළඔ සිට දකුණු දෙසට කීලෝ මීටර 160 ක් ඈතින් පිහිටි මේ නගරයේ මුහුදුබඩ දුම්රිය මාර්ගය කෙළවර වෙයි. මාතර නගරය කඩවත් සතර වැල්ලබඩ පත්තුව, ගඟ බඩ පත්තුව, කන්ද බඩ පත්තුව, වැලිගම කෝරළය, මොරවක කෝරළය යන කොටස් සයකින් යුක්ත වේ. අතීතයේ මාතොට නමින් මාතර හදුන්වා ඇත.
මාතර කොඩිය නිර්මාණය වුයේ අතීතයේ මාතර ප්‍රසිද්ධ වී තිබු ඇත්ගාල හේතුකොට ගෙන ය.‍

එහි ගජනායක නැමැති ඇත්ගාලේ ප්‍රධානියාට අයත් කොඩිය හස්තිය සහිත කොඩිය යි. එහි මැද හස්තියා ද උඩ යට සිව්කොණේ නෙළුම් මල් සතරක් ද යොදා තිබේ. එසේම මාතර බෞද්ධ කොඩියෙ පසුබිම වුයේ මල් වැලක් දකුණු අතින් ගත් සිංහ කොඩියයි. මල් වැලේ මුල කෙළවර වම් පසින් හා දකුණු අතින් පාගා ගෙන සිටින අතර එය උඩ අතට කරකැවී ගිය බැවින් වම් අතින් අල්ලා ගෙන සිටි. මල් වැල සිංහයාගේ බෙල්ලේ වම් කෙළවර කඳ මැදට කෙළින් ඉහළ දී අවසන් වේ. මල් වැලේ කෙළවරින් බෙදී ගිය මල් අතු දෙකකි. එය ඉහළ දී බෝ කොළ හැඩය ගෙන එක් වී තිබේ. කෙළවර දී වම් පස මල් අත්තෙන් තවත් ශාඛාවක් බෙදී ගොස් එය අලංකාර වී තිබේ. සිංහයාගේ වලිගය වෙනුවට යොදා ඇත්තේ ද මල් වැලකි. එය වලිගය විහිදුනු ආකාරයට ම විහිදි තිබේ. කෙළවර මල් පොහොට්ටුවකින් වලිගය අවසන් විය. කොඩියේ පහළ මුල දෙකේ මල් පොකුරු දෙකකි. ඒ අතර හරි මැද පුන්කලසකින් මතු වී ගිය දෙපස විහිදුණු කොළ දෙකක් සහිත මල් පොකුරකි. කොඩිය ඉහළ කෙළවරේ වම් පස ඉර ද දකුණු පස අඩ සඳ ඳ වේ. කොඩිය වටේට ම විහිදුණු පටු මල් වැලකි. ඉර සහ හඳ සංකේතය මාතරට ද හිම්කම් ඇති බව කිව යුතු ය. 
මාතර ආශ්‍රිත විවිධ වු සාම්ප්‍රදායන් ඇත. එනම් චිත්‍ර, නැටුම්, ශාන්තිකර්ම, භාෂාව, කලා ශිල්ප, ගෘහ නිර්මාණ ශිල්ප, ආදී සම්ප්‍රදායන් රැසක් ඇත. මා මෙහිදි හදුන්වා දී ඇත්තේ ඉන් කිහිපයකි. මෙහි සාම්ප්‍රදායික චිත්‍ර කලාව ගත් කළ කීර්ති ශ්‍රි රාජසිංහ සමයෙහි වැලිවිට සිල්වතානන්ගේ මුලිකත්වයෙන් 1753 දී ඇති කළ ස්‍යම වංශික උපසම්පදාවෙන් ඇති වු ආගමික ප්‍රබෝධයක් සමඟ දකුණේ මුහුදු බඩ ප්‍රදේශයෙහි චිත්‍ර සම්ප්‍රදායක් බිහි වී ඇත. 18 වන සියවසේ අපරභාගයේ සිට 17 වන සියවසේ මැද භාගය තෙක් වු මේ කාල පරිච්ජේදය තුලදී ඇති වු ධර්ම ශාස්ත්‍රිය දියුණුවේ කේන්ද්‍රස්ථානය මාතර වු බැවින් එම කාල සීමා තුල බිතු සිතුවම් සම්ප්‍රදාය ද මහනුවර සම්ප්‍රදායෙන් වෙනස් වී දේශිය සාම්ප්‍රදායක් බවට පත්වීම නිසා චිත්‍ර කලාව අතින් ද මේ වකවානුව මාතර යුගය නමින් සඳහන් කිරීම වඩාත් ම උචිත වී ඇත.
මාතර සිත්තර පරම්පරාව මහනුවරින් ඇති වු පරම්පරාවක් වන අතර වෑත්තෑවේ හා කටුවන සිල්වතුන් දෙදෙනා වෙරගම්පොළ සිල්වතාණන් ඇසුරෙන් චිත්‍ර කලාව හදාරා පසුව මේ ප්‍රදේශයට ම පැමිණ කටුවන සිල්වත් තැන චිත්‍ර ශිල්පින් බිහි කිරිමේ පරමාර්ථයෙන් දෛවඥා කුලයට අයත් එරබද්දේගොඩ අයෙක් ද,කඩොල්ගල්ලෙ හිමප්පු ගුරුන්නාසේ ද, නාඔටුන්නෙ සලාගම කුලයට අයත් කෙනෙක් ද දෙවුන්දර දුරාවේ කුලයට අයත් අන්දිරිස් ගුරුන්නාසේට ද චිත්‍ර ශිල්පය ඉගැන්වීය. මාතර අවධියට අයත් බිතු සිතුවම් අතුරලිය, ඇල්ගිරිය, වැලිහිඳ, පොල්වත්ත, වට ගෙදර ආදී ස්ථානවල දක්නට ලැබේ.

මහනුවර චිත්‍ර සාම්ප්‍රදායෙන් පැවත එන මාතර චිත්‍ර සාම්ප්‍රදාය වෙනස් වන්නේ මෙසේ ය.මහනුවර අවධියේ බුද්ධ චරිතයේ ඒ ඒ අවස්ථාවන් හා ජාතක කථාවක කොටස් බිත්තිය හරහට තීරුවලට බෙදා ඒ තීරු යළි පනේල වශයෙන් වෙන් කර ඇති නමුත් මාතර සිත්තරා පනේල වශයෙන් වෙන් කර නොමැත. ඔහු කර ඇත්තේ තීරයේ දිගටම එක් එක් අවස්ථාවන් ඇඳ තිබීමයි. මහනුවර සාම්ප්‍රදායේ විශේෂ ලක්‍ෂණයක් නම් රේඛා කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර මාතර සාම්ප්‍රදාය වුයේ රේඛාවට මුලු තැනක් නොදී විවිධ වර්ණ භාවිතයෙන් චිත්‍රය පසුතලයෙන් ඉස්මතු කර පෙන්වීමට උත්සහයක් ගෙන තිබීමයි. එසේම මාතර යුගයට අයත් බිතු සිතුවම් වල විශාල විෂය පථයන් ද වර්ණ හා ආභරණවල විවිධත්වයක් ද අඟ පසඟ මුහුණ සැකසුම් ද නිසා මහනුවර සම්ප්‍රදායෙන් වෙනස් වී තිබේි. මාතර සම්ප්‍රදායේ මකර තොරණ යොදා ඇත්තේ පිට මාලයේ සිට ඇතුල්වන දොරටුවට හෝ දොරටුවලට ඉහළින් ය. වැලිහිඳ, වෙහෙරගල්ල යන ස්ථානවල පිට මාලයෙන් ඇතුළු මාලයට පිවිසිමට දොරටු තුන බැගින් වේ. ඒ හැම දොරටුවකම ඉහළින් මකර තොරණ බැගින් ඇත. ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව වටා පලා පෙති මෝස්තර උපයෝගී කර ගැනීමෙන් රශ්මි මාලාව විහිදෙන ආකාරය පිළිබිඔු කර ඇත. විහාර මන්දිර තුළ බිත්ති වල ඇඳ තිබෙන රූප අතර හිස්තැන් පිරවිම පිණිස මාතර ශිල්පිහු යොදා ඇත්තේ මල් අතු සහ මල් රිකිලිය. එසේ ම මොවුන් පසුතලයට යොදා ඇත්තේ රතු, දුඔුරු, කළු යම්තමින් මිශ්‍ර කරගත් දුඔුරු වර්ණයක් පමණි. මිනිස් රූප වල ද මහනුවර සම්ප්‍රදායට වඩා වෙනස් ලක්‍ෂණ දැකිය හැකිය. මාතර ශිල්පින් මිනිස් රූප පැත්තට, හරි ඉදිරියට, අඩක් පැත්තට ආදි වශයෙන් රූපහැරි තිබෙන ආකාරය චිත්‍රයට නගා තිබේ. එසේ ම මිනිස් රූපවල උඩුකය සැරසීම පිණිස මාතර ශිල්පියා වැඩියෙන් අභරණ පළඳවා ඇත. ප්‍රතිමා මන්දිර තුළ වියන් තලය සැරසීමේදි මාතර ශිල්පිහු බොහෝ ස්ථානවල වියන් තලය සරසා ඇත්තේ ජෝ‍යතිෂයට අයත් නැකැත් රාශි සහ නවග්‍රහ මණ්ඩලය රූප බවට පරිවර්තනය කර ගැනිමෙනි. තවද බොහෝ ප්‍රතිමා මන්දිර තුළ ඝෝර, අඝෝර, සිවවටුක, පුනවටුක ආදී යක්‍ෂ රූප ද ඇඳ තිබේ. මෙම ශිල්පිහු තම පරම්පරාව අනුව යොදන ලද මෝස්තර වලද වෙනස්කම් දක්නට ලැබේ. මෙලෙස මාතර සම්ප්‍රදායික චිත්‍ර කලාව හදුන්වා දිය හැකි ය.

නැටුම් සාම්ප්‍රදාය පහතරට නැටුම් සාම්ප්‍රදායට අයත් ය. මෙම රංග ශෛලියේ සංකීර්ණ වු හස්ත චලන සමුදායක් අන්තර්ගතය. උරහිස් හා ඉඟටිය උදෙසා ද විශේෂ ප්‍රයෝග අන්තර්ගත අතර පාද චලන, ඉඟටි චලන, දෑත් චලන, උරහිස් චලන, හිස් චලන වෙන් වෙන් වශයෙන් ප්‍රයෝග කර දැක්වීමට මාතර ශෛලියේ ශිල්පිහු පුරුදුව සිටියි. ඉතා පුළුල් මැණ්ඩියකින් හසුරුවා ගන්නා ලද දෙපය දෙපසට විහිදුවන්නේ ඉඟටියෙන් උඩුකය ඉදිරියට නැමීමෙනි. ආධුනික නර්තනකරුවෙකුට පහසුවෙන් ඉගැන්විය හැකි ආකාරයේ හෝ උගත හැකි ආකාරයේ හස්ත චලන රටාවක් මෙහි අන්තර්ගත නොවේ. චලන සියල්ල මනා සංකිර්ණ තත්වයකින් පරිපුර්ණ වන බැවින් ගෝලයකු බිහි කිරිම සඳහා දීර්ඝ කාලයක් නර්තනයේ යෙදිමෙනි. ලාස්‍යය හා තාණ්ඩව ගති ලක්‍ෂණ මැනවින් කැපී පෙනෙන මාතර රංග සම්ප්‍රදාය තුළ පුර්ණමණ්ඩියේ මත හිඳ කරනු ලබන හස්ත හරඹ ලක්‍ෂණයන්ගේ පරිපුර්ණය. නිදසුනක් ලෙස ගතහොත් මාතර ප්‍රදේශයේ “ගදි” “ගද” යනුවෙන් කරන පද උච්චාරණය
බෙන්තර ප්‍රදේශයේ දි “ගති ගත” යනුවෙන් උච්චාරණය කරයි. නර්තන ශිල්පියාගේ ප්‍රධාන රංග වස්ත්‍රාභරණ වුයේ පබළු ඇදුමයි. මාතර නර්තන සම්ප්‍රදාය බිහි වී ඇත්තේ සාම්ප්‍රදායික ශාන්තිකර්ම පාදක කොට ගෙනය.
සාම්ප්‍රදායික ශාන්තිකර්ම ප්‍රධාන වශයෙන් කොටස් 03 බෙදා දැක්විය හැකිය. එනම්,
  •   දෙවියන් මුල් කොට ගෙන කරන්නා වු ශාන්තිකර්ම
  •   යකුන් මුල් කොට ගෙන කරන්නා වු ශාන්තිකර්ම
  •   ග්‍රහ දෙවිවරුන් මුල් කොට ගෙන කරන්නා වු ශාන්තිකර්ම
     
මෙම ශාන්තිකර්ම අතුරින් පහතරට ප්‍රදේශයේ සිදු කරනු ලබන්නේ යකුන් හා දෙවියන් මුල් කොට ගෙන කරනු ලබන ශාන්තිකර්මය. දෙවියන් සදහා කරනු ලබන ශාන්තිකර්ම පොදුවේ මඩු ශාන්තිකර්ම නැතහොත් දේව තොවිල් ලෙස ද යකුන් සඳහා කරනු ලබන ශාන්තිකර්ම පොදුවේ යක් තොවිල් ලෙස ද හැදින්වේ. යකුන් සදහා කරනු ලබන ශාන්තිකර්මයක් වන සුනියම් යාගය මාතර ප්‍රදේශයේ සුවිශේෂි වේ. එසේම රිද්දියාගය, මහසොන් සමයම ශාන්තිකර්මය මාතර ප්‍රදේශයේ බහුල ව පවති. සුනියම් ශාන්තිකර්මය සුනියම් යක්‍ෂයා නැතහොත් සුනියම් දේවතාවා ප්‍රමුඛ කොට ගෙන පවත්වනු ලබන විශේෂිත යක් තොවිල් ක්‍රමයක් ලෙස හැදින්විය හැකිය. මෙය හුදෙක් රෝග නිවාරණ ක්‍රමයකි. සුනියමක් නැතහොත් හුනියමක් යනු එක් පුද්ගලයකු විපතට පත් කිරිමේ අරමුණින් යුක්තව කරනු ලබන්නකි. සුනියමක් කරවිම සදහා දක්‍ෂතා ඇති යකැදුරන් යොදා ගනු ලබන අතර එහි රහස්‍යභාවය ආරක්‍ෂා කරගනු වස් ඔහු ඉතා විශ්වාසවන්ත පුද්ගලයෙකු ද විය යුතුය. සොහොන් අළු, කිකිළි බිජු, දෙහි, රත්මල් පොකුරු, මිනීඔළු, යනා දි දේ මේ සදහා යොදාගනු ලබන අතර ඇතැම් අවස්ථාවලදි ආදාළ පුද්ගලයාගේ ඇදිවත නුල්, නියකෙස්, දහඩිය, මලමුත්‍රා කළ ස්ථානවල පස්, සෙම්, සොටු, ලේ යනාදි ද්‍රවයන් ද යොදි ගනු ලබයි. මාතර සම්ප්‍රදායික සුනියම් යාගයේ පුජා රටාවන් වනුයේ අතුරයා සමාධි කරවිම, සුනියම් විදිය කැප කිරිම, නානුමුර කිරිම, මොට්ටක්කිලි පැලදවිම, විදිය කැප කිරිම ආදි පුජා රටාවන් 20ක් පමණ ඇතුලත් වන අතර අවසානයේ සිදුකරනුයේ පිං බෙර ගසා දෙවියන්ට පින් අනුමෝදන් කිරිමයි.
මාතර ප්‍රදේශයට ආවේණික වු තවත් ශාන්තිකර්ම සම්ප්‍රදායක් වුයේ මහසොහොන් සමයයි.
 මාතර සම්ප්‍රදායට අනුව භුත කර්මයන්හි නියැලෙන ඇදුරන්ගේ මතය වී ඇත්තේ සන්නි යකා සහ මහසොන් යක්‍ෂයා එකම මඩුවකදී පුද පුජා නොගන්නා බවයි. එසේම ඉතාමත් බලසම්පන්න වුත්, ආතුරයින් කෙරෙහි මහත් විපත් පමුණුවන්නා වුත් යක්‍ෂයෙකි. මහසෝනාට බියවීම, මහසෝනා ගැසිම, අවතාර කරවීම වැනි විශ්වාස පොදුවේ ගත් කළ පහතරට නර්තනය ප්‍රචලිත ප්‍රදේශවල පමණක් නොව අනෙකුත් ප්‍රදේශවල ද ගැමිි ජනතාව අතර ප්‍රචලිතය. එසේ වු හෙයින් මහසොහොන් යක්‍ෂයා හා බැදි ශාන්තිකර්ම අනෙකුත් පහතරට ප්‍රදේශයන්හි ප්‍රචලිත ය. මාතර ප්‍රදේශයේ පිළිගැනිම්වලට අනුව මහ සොහොන් සමයම කරනු ලබන්නේ සුව කළ නොහැකි මරාන්තික රෝගි අවස්ථාවකදිය. මහසොහොනා විසින් කරනු ලබන ලෙඩ විවිධ ස්වභාවයෙන් යුක්ත ය. ඇතැම් විටෙක පාළු වෙල් එළියක, අමු සෙහොන් අසල වැනි ස්ථානයක මැරී වැටි සිටින පුද්ගලයින්, මහ සොහොනාගේ පහර දිමෙන් මිය යන බවට ැමි විශ්වාසයක් ඇත. මහසොනාට බිය විමෙන් පිස්සුව, ඔල්මාදය, තැන තැන දුව ඇවිදිම, අධික පිපාසය ඇති වන බව පිළිගැනිමයි. සඳ ඇති රාත්‍රියෙහි ගැවසෙන්නේ යැයි විශ්වාස කරන මෙකි යක්‍ෂයා සුදුවතින් සැරසි ඌරු වාහනයක නැගි සිටින බවද කියති.
                                   
                                     පාට සුදුයි සියොලඟ මහ සොහො නා
                                     රැට පෙනෙයි කැඩපත සේ මු නා

මහසෙන් යාගයේ සැරසිලි කටයුතු සිදු කිරිමේ දි මෙහි ප්‍රධානත්වයන් ගනු ලබන්නේ පංච මැස්ස හෙවත් මහසෝන් විදියයි. එසේ ම තවත් විශේෂිත සැරසිල්ලක් වනුයේ මහසොහොන් බලියයි. ඒ සඳහා සකස් කළ බලි මැස්ස මත වලස් මුහුණකින් යුක්ත මෙකි බලිය නිර්මාණය කර වර්ණ ගන්වනු ලැබේ. ගලා බසින ඇළක, දොළක, ගංගාවක මිනිස් හිසට උසින් සිටින සේ පොල් පරාල වැනි ශක්තිමත් ලී යොදා පුරාලයක් බැදීම මෙහිදි සිදු කරනු ලබයි. මෙකී යාගය සදහා යොදා ගනු ලබන රංග උපකරණ හා රංග භාණ්ඩ රාශියකි. කුඩය, කොඩිය, සේසත, වීණාව, දවුල, තල්පත, හොරණැව, ඇත්හිස යනාදි වු රංග භාණ්ඩ ගොක්කොළ, කෙසෙල් පතුරු, කෙසෙල් බඩ, ඉරටු ආදිය යොදා ගෙන සකස් කරනු ලබයි. 
මෙම යාගයේ පුජා විධි රටාව ගත් කළ අනෙකුත් සියලුම ශාන්තිකර්මන්හි දී මෙන්ම මෙහිදී ආතුරයා ආතුර පන්දලට කැදවිමෙන් අනතුරුව සුනියම් දේවතාවුන්ට සුනියම් පිදේනියට පැමිණෙන ලෙස ආරාධනා කරනු ලැබේ. සුනියම් දෙවියන්ට හා සතර වරම් දෙවිවරුන්ට විලක්ක පහක් දල්වා බත් අයිලයක් හා හදුන්, මල්, බුලත් පිදිමෙන් ශාන්තිකර්මය ආරම්භ කරයි. නමුත් මේ සියලු කාර්යයන්ට ප්‍රථම තුණුරුවන් සරණ යැම සිරිතකි. හැන්දැ පිදේනි දිෂ්ටිය කිරිම, පිදවිලි කැප කිරිම, පැදුරේ දැපිම, විදි කැප කිරිම, කුකුළාගේ පිදේනි දීම, දුම්මල කන්නලව්ව යනාදි පුජා විධි රටාවන් සිදු කරයි. අවසානයේ ආතුරයා ආරක්‍ෂ කර නුලක් බැද ඊගහ අතට දි රංචාගොඩ පදය නටා දෙවියන්ට පින් දි පිංබෙර ගසා ශාන්තිකර්මයේ කටයුතු නිමාවට පත් කරයි.
මාතර සම්ප්‍රදායේ බලි ශාන්තිකර්ම ද සිදු කරනු ලබයි. බලි ශාන්තිකර්මයක් යනු රවි, චන්ද්‍ර, කුජ, බුද, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කෙහෙතු යනුවෙන් දැක්වෙන නවග්‍රහයන්ගෙන් සිදුවන්නා වු අපල උපද්‍රව දුරුකර ගැනිම සදහා කරනු ලබන ශාන්තිකර්මයකි. බලි ශාන්තිකර්මය වර්ග දෙකක් ඇත.
                                      1.රුප බලි
                                      2.ඇඔුම් බලි ලෙසය.

මෙම බලි ශාන්තිකර්මයේ මාතර සම්ප්‍රදායට අයත් බලි ඇදුම් කට්ටලය වනුයේ මේස් කලිසම, ලොච්චි කැලි, කළු මේස්, ගෙජ්ජි වැල්, සිලම්බු, සුදු හේලය, ඉන ඔතන සුදු රෙද්ද, පච්ච වඩම, බන්ඩි වළලු හතරක්, ගිගිරි වළලු දෙක, මිණිගෙඩිය, අත්පන්දම(දකුණු අතට), ඉස්සෝලියල(මෙය පොටවල් දෙකක් පහළට සිටින ලෙස බදින ජටාවකි), කුදිර පටිය(පබළුවලින් අලංකාරය කර ඇති මෙය ඉස්සෝලිය අලංකාර කිරිම පිණිස බදිනු ලැබේ), කඩුක්කන් යන ඇදුම් කට්ටලය භාවිතා කරයි.
මාතර සාම්ප්‍රදාය තුළ භාෂා සාම්ප්‍රදාය ගත් කළ වාග් විද්‍යාවේ පෙන්වා දෙන්නේ දකුණේ ජනතාවට ආවේණික වු ජන වහර මායිම් පත්තුවේ සහ මාතර වැල්ලබඩ හා කන්දබඩ පත්තුවේ ගිරුවායට තදාසන්න පෙදෙස්හි අදත් නොනැසි පවති. දකුණු පළාතට ආවේණික ලක්‍ෂණයක් ලෙස “ඔහේ” යන ඇමතුම සමහරුන් හදුන්වා දි ඇතත් එය මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පමණක් භාවිත වේ. කාන්තාවන්ට “හාමිනේ” යන ඇමතුම ද ගෞරවාර්ථයෙන් මාතර ප්‍රදේශයෙ යෙදේ. අතීතයේ මෙකි ගෞරවාර්ථ ඇමතුම් යෙදුණේ ගොවි කුලය සදහා පමණක් නමුත් දැන් ඒ තත්ත්වය තරමක් ලිහිල් වි ඇත. තවද “කාරයා” යන්න පද පුද්ගලයන් හැදින්ව්මේ දි කුල භේදයකින් තොරව භාවිතා වුවන් “ගොයියා” යන්න ගොවි කුලයේ අය භාවිතා විය. එහෙත් වර්තමානයේ මෙම ලක්‍ෂණ බැහැර වෙමින් පවති. “මහත්තයා” යනුවෙන් මෙම ප්‍රදේශයේ දේවාල කපුවන් හැදින්වේ. කට්ටඩියා මේ ප්‍රදේශයේ ගැමියාට ඇදුරෙකි. තෙල් මැතිරිම ඇදුරුකමකි. “අනෝදා” මෙම ප්‍රදේශයේ “අනෝනා” නම් වේ. කෙසෙල් කැන්වල ඇති “වතුමුවට” “වතුමොයියා”ලෙස කියයි. ගස්වල හැදෙන “මල් පොහොට්ටු” වලට “මල් කුප්පි” බවට පත් වේ. “මක්කයි”,“මක්කටෙයි” යන වචන මෙහි භාවිතා කරයි. 

තවද කුඩා අයද පමණක් නොව වැඩිහිටි ගැහැණුන්ට ද “ළමයා” යන වචනය කියයි. ගෑනු ළමයෙකු වැඩිවියට පත් වු විට “කෙල්ල ගෙයි මුල්ලට වෙලා” නැතහොත් “ලොකු වෙලා” යැයි භාවිතා කරයි. එසේම “හින්නිකිතර” යන පද කුඩා බව හැගවීමට යොදාගනු ලබයි. “දැමීම” යන අදහසට “දෑවා” යන පදය කියයි. “පොල් ලෙලිගහනවා” යන අරුත දෙන්නේ “පොල් ඔයති, ඔයනවා” යන වචන භාවිතා කරයි. එසේම “කරදිය” “කරිජ්ජ” බවටත් “මිරිද්ද” “මිරිජ්ජ” බවටත් පත්වෙයි. “මිරිජ්ජවිල” යන ග්‍රාම නාමයන් මෙයට සාක්‍ෂි දරයි. තවද “තෙලිදිය” “තෙලිජ්ජ” නම් වේ. වැලිගම අකුරුස්ස ප්‍රධාන මාර්ගයේ ඇති “තෙලිජ්ජවිල” නම් ග්‍රාමය මෙයට සාක්‍ෂි දරයි. මෙලෙස මාතර සම්ප්‍රදායේ භාෂාව පිළිබඳ හැදින්විය හැක. මාතර ප්‍රදේශයේ පැවැති මෙම සාම්ප්‍රදායන් අද වන විට කාලයාගේ ඇවැමේන් මේවා පිරිහෙමින් පවති. මෙම සාම්ප්‍රදායන් රැක ගැනිම අප සතු යුතුකමකි.
(උපුටා ගැනිම: මාතර පුරා විද්‍යාත්මක ඉතිහාසය- ආචාර්ය කඔුරුපිටියේ වනරතනහිමි,සිංහල නර්තන කලාව- මුදියන්සේ දිසානායක,ශාන්තිකර්ම සහ අභිචාර විධි- ඥාානසිරි පිරිස් )
ජායාරූප: අන්තර්ජාලය ඇසුරින්,පොත් ඇසුරින්)

No comments:

Post a Comment

My Photo Design