Monday, 22 July 2019

ගම හා ගැමි සමාජ පිළිබද සමාජ විද්‍යාත්මක දකිමු....

ගම හා ගැමි සමාජ 
ග්‍රාමීය සමාජ විද්‍යාවේ කේන්ද්‍රය, “ගැමි සමාජය” වශයෙන් හඳුන්වා දිය හැකිය. මෙහිදී “ගම” හා ගැමි සමාජය යන්න මූලිකව අවධාරනය කරගත යුතුය. ලෝකයේ ප්‍රථම ගම (village) පිළිබඳ සංකල්පය ක්‍රි.පූ. 6750 දී පමණ ඉරාකයේ බිහිවී තිබූ බව විශ්වාස කෙරේ. තවද ක්‍රි.පූ. 600 දී පමණ අත්ලන්තික් යුරේපයේද ක්‍රි.පූ. 2500 දී පමණ ඉන්දියාවේද ක්‍රි. පූ. 1500 දී පමණ බටහිර අප්‍රිකාවේද ගම නැමැති ඒකකය බිහිවී ඇත. ( Clifford 1986, 318-322) කෙසේවෙතත් ඉරාකයේ නැතහොත් මෙසපොතේමියාවේ පහත් බිම්වල ප්‍රභවය වූ “ගම” ඉනික්බිතිව චීනය, ග්‍රීසිය,. රෝමය, මෙක්සිකෝව යනාදි රටවල ව්‍යාප්තව ඇත. ග්‍රාමීය සමාජය යන්න අවධාරණය කරගැනීමේදී බටහිර සමාජ විද්‍යාඥයන් පොදුවේ ග්‍රාමීය සමාජය හැඳින්වීම සඳහා භාවිතා කරනුයේ “ rurel society ” යන්න වුවද ඒ සම්බන්ධයෙන් විවිධ භාෂා භාවිතයන් පවතින බව හඳුනාගත හැකිය. මෙහිදී ග්‍රාමීය සමාජයේ එක් කොටසක් වන කෘෂි සමාජය ( Peasant society ) ලෙස හඳුන්වනු ලැබේ. ඒ අනුව “ Peasant ” යන පදයෙන්ද ග්‍රාමීය සමාජ අර්ථ දැක්විය හැකයි. කෙසේ වුවද ග්‍රාමීය සමාජ තුළ කෘෂි ආර්ථිකය මත ජන ජීවිතය රදාපැවතීම හේතු කොටගෙන ග්‍රාමීය සමාජ ගොවි සමාජ ලෙස හඳුන්වාදීමට මානව විද්‍යාඥයන් පෙළඹී ඇත.
  
  සමාජ හා මානව විද්‍යාඥයින් මුල්කාලීනව ප්‍රාථමික සමාජ අධ්‍යනය කෙරෙහි සුවිශේෂි උනන්දුවක් දැක්වුවද පසුකාලීනව ඔවුන් ග්‍රාමීය සමාජ පිළිබඳව සුවිශේෂී අවධානයක් දැක්වූ ආකාරයක් හඳුනාගත හැකිවිය. ග්‍රාමීය සමාජ විද්‍යාව 19 වන සියවසේ බටහිර යුරෝපයේ ප්‍රභවය වූවත් එය සුවිශේෂී උප විෂය ක්ෂේත්‍රයක් ලෙස වර්ධනය වූයේ ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කොට ගනිමිනි. 20 වෙනි ශත වර්ෂයේ දෙවැනි භාගය වන විට මෙම විෂයය බොහෝ රටවල ප්‍රචලිත වන්නට විය. කෙසේ වෙතත් ග්‍රාමීය සමාජ විද්‍යාව සමාජ විද්‍යාවේ උප විෂය ක්ෂෙත්‍රයක් ලෙස සැලකිය හැකිය. ලෝකයේ ජීවත්වීමත් ග්‍රාමීය ජනතාව, ජීවන රටාව, රැකියා නියුක්තිය හා චර්යා සම්ප්‍රදායන්ට අනුව නාගරික ජනතාවට සාපේක්ෂව වෙනස්වීම හා ග්‍රාමීය ජනතාවගේ චර්යාවන් විශ්වාස පද්ධතීන්, අගයන් හා ධර්මතා ග්‍රාමීය පරිසරය විසින් හැඩගස්වා තිබීම වැනි කරුණු කාරණා ඒ තුළින් අවධාරණය කොට තිබීම හේතුවෙන් ග්‍රාමීය සමාජ විද්‍යාව සුවිශේෂී වූ විෂය ක්ෂේත්‍රයක් වශයෙන් හඳුනාගත හැකිය.

ග්‍රාමීය සමාජ විද්‍යාව නිර්වචනය කර ගැනීම
  
    මෙහිදී ග්‍රාමීය සමාජ විද්‍යාව යන්න නිර්වචනය කරගැනීමේදී ඒ සම්බන්ධයෙන් විවිධ නිර්වචන රාශියක් හඳුනාගත හැකිය. එහිදී ටී.එල්. ස්මිත් ( T.L Smith ) ට අනුව “ග්‍රාමීය සමාජ සම්බන්ධතා පිළිබඳ අධ්‍යයන මත පදනම් වූ සමාජීය කරුණු හා මූලධර්ම හැදෑරීම ග්‍රාමීය සමාජ විද්‍යාවේ කාර්යභාරය වේ.” ඩී. සැන්ඩර්සන්ට ( D Sandarsanta ) ට අනුව “ග්‍රාමීය පරිසරයේ ජන ජීවිතය පිළිබඳව හැදෑරීම ග්‍රාමීය සමාජ විද්‍යාවේ.” එසේම ඒ.ආර් දේශායි ( A.R Deshai ) ට අනුව ග්‍රාමීය සමාජ විද්‍යාව යනු “ග්‍රාමීය සමාජ පිළිබඳව අධ්‍යනය කරනු ලබන විද්‍යාව ලෙස හඳුන්වා ඇත.” ඔහු අවධාරණය කරන ආකාරයට මෙම විෂය ඔස්සේ ග්‍රාමීය සමාජ සංවර්ධනයට අදාල නියමයන් හඳුනාගැනීමට අවකාශය ලැබේ. ග්‍රාමීය සමාජ සංවිධානය, සමාජ ව්‍යූහයේ ක්‍රියාකාරීත්වය අරමුණු නැඹුරුතාව පිළිබඳව ක්‍රමානුකූලව හා සවිස්තරාත්මකව අධ්‍යනය සඳහා මෙම විෂය ක්ෂේත්‍රය උපකාරී වේ. එන්.එල්. ස්මිත් ( N.L Smith ) විස්තර කර ඇති පරිදි ග්‍රාමීය සමාජ විද්‍යාවේ දී ගම්වල කෘෂිකර්මය මත ජීවත්වන ජනතාව අතර ඇති සම්බන්ධතා, සාමූහික චර්යාවන් යනාදිය පිළිබඳ හැදෑරීමෙන් ද සිදුකරයි. ( Raj 2000, 2-7)
   
     ඇල්වින්. එල්. බර්ට්රන්ඞ් ( Alvin L Bertand ) විසින් සංස්කරණය කරන ලද “ Rural Sociology” නමැති ග්‍රන්ථයෙහි ග්‍රාමීය සමාජ විද්‍යාව පිළිබඳව අර්ථකථනය කරනු ලබන්නේ “ග්‍රාමීය පරිසරයන්හි මානව සම්බන්ධතා පිළිබඳව හැදෑරීම” යනුවෙනි. ( Bertand 1958,8) එසේම ජේ. චිතම්බර් දක්වන ආකාරයට ග්‍රාමීය සමාජ විද්‍යාව පිළිබඳව හැදෑරීමේ අරමුණ වන්නේ, ග්‍රාමීය ජනතාවගේ චර්යාවන් සහ ග්‍රාමීය සමාජය පිළිබඳ ගැඹුරු අධ්‍යනයක් ලැබීමයි. මෙම විෂයය මගින් ග්‍රාමීය පුද්ගලාන්තර / අන්තර් පුද්ගල සම්බන්ධතා පිළිබඳව අධ්‍යනය කිරීමට අවශ්‍ය ඉඩකඩ සලසාදෙනු ලබයි. ( Chitambar1973,12) මේ ආකාරයට සලකා බැලීමේදී පැහැදිලි වන්නේ ග්‍රාමීය සමාජ විද්‍යාව තුළින් ගැමි ජනතාව සුවිශේෂි වූ සමූහයක් / කාණ්ඩයක් ලෙස සලකමින් ග්‍රාමීය පරිසරයක් සහිත ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන්නා වූ පුද්ගලයින්ගේ සමාජ සම්බන්ධතා චර්යාවන් හා සමාජ ජීවිතයේ පදනම පිළිබඳව සුවිශේෂී වූ අවධානයක් යොමු කරමින් අධ්‍යයන කටයුතු මෙහෙයවනු ලබන බවයි.

ග්‍රාමීය සමාජ විද්‍යාවේ ප්‍රභවය හා විකාශනය
        
     ග්‍රාමීය සමාජ විද්‍යාවේ ප්‍රභවය 19 වැනි ශත වර්ෂය දක්වා ඈතට දිවයයි. මෙහිදී වර්තමානයේ දියුණු සමාජයන් බවට පරිවර්තනය වූ සමාජයන්ට පදනම වැටී ඇත්තේ ග්‍රාමීය සමාජ විකාශනයට වීම තුළින් බව පෙනී යයි. එනම් ග්‍රාමීය සමාජ ක්‍රමයෙන් නාගරික සමාජ බවට පරිවර්තනය වීමත් ඒ තුළින් නාගරික හෙවත් පුරවර සමාජ ඇතිවීමත් සාමාන්‍ය තත්ත්වයකි. කෙසේ වෙතත් ග්‍රාමීය සමාජ විද්‍යාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වූයේ වැඩවසම් සමාජ ක්‍රමයන් ධනවාදී සමාජ ක්‍රමයන් බවට පරිවර්තනය වීමත් සමගය. එහිදී ග්‍රාමීය සමාජ ව්‍යූහය සංවිධානය සහ ග්‍රාමීය ආර්ථිකයේ සිදුවූ පරිවර්තනයන් කෙරෙහි ධනවාදය කාර්මිකරණය හා නවීනකරණයෙහි බලපෑම් කවරාකාරයෙන් සිදුවී ඇතිද යන්න පිළිබඳව උගතුන්ගේ විමසුමට ලක්විය. කෙසේ වෙතත් ග්‍රාමීය සමාජ විද්‍යාවේ මුලාරම්භය පිළිබඳව විමර්ශනය කරන විට ඒ පිළිබඳව තොරතුරු හා දත්ත හමුවන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. ස්කැනේඩියානු රටවල, අයර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල කාර්මික විප්ලවය පරිණත වන විට නාගරික හා ග්‍රාමීය වශයෙන් සමාජ පරතරයක් ඇති විය. කාර්මික විප්ලවයේ බලපෑම යුරෝපය පුරා පැතිර ගියද නොදියුණු ලක්ෂණවලින් යුත් ග්‍රාමීය ප්‍රදේශ එම රටවලද දක්නට ලැබුණි. මෙකී ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ගැමි ජනතාව පිළිබඳව කරුණු කාරණා අධ්‍යයනය සඳහා පළමුව සමාජ මානව විද්‍යාවද පසුකාලීනව ග්‍රාමීය සමාජ විද්‍යාවද උපයෝගි කරගන්නා ලදි. එසේම ආසියා, අප්‍රිකා හා ලතින් ඇමරිකා රටවල පාලන බලය තමන් සතු කරගත් යුරෝපා අධිරාජ්‍යවාදීන්ට නැතහොත් යටත් විජිත පාලකයන්ට එම යටත්විජිත රටවල ජීවත්වන ජනතාවගේ සමාජ ව්‍යූහය, ආගම්, ඇදහිලි, සිරිත්විරිත්, ආර්ථිකය, විශ්වාස යනාදි වූ ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් කිසියම් වූ අවබෝධයක් ලබාගැනීමට අවශ්‍ය විය. කෙසේ වෙතත් මෙවැනි අරමුණු පාදක කොටගත් අධ්‍යයනයක් ග්‍රාමීය සමාජ විද්‍යාවේ විෂය ක්ෂේත්‍රය සංවර්ධනයට හා ග්‍රාමීය සමාජ විද්‍යාවේ පෝෂණයට ඉමහත් දායකත්වයක් සැපයීය.
   
     මෙහිදී ග්‍රාමීය සමාජ විද්‍යාවේ විකාශනය පිළිබඳව තවදුරටත් විමසා බැලීමේදී මෙකි විෂය ක්ෂේත්‍රයට අදාලව  ලේඛනයෙහි යෙදෙන මුල්කාලීන විද්වතුන් මෙකී විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් න්‍යායන් ගොඩනගා ගැනීමට උත්සුක නොවීය. මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පැහැදිලි හා වැදගත් උනන්දුවක් ඇතිවූයේ, ඇමරිකා එක්සත් ජනපදයේ තියඩොර් රුස්වෙල්ට් ජනාධිපතිවරයා විසින් 1908 දී ඇමරිකාවේ ග්‍රාමීය ජන ජීවිතය පිළිබඳව සොයාබැලිම සඳහා පත්කළ කොමිසමෙන් ( County Life Commission ) අනතුරුවය. ග්‍රාමීය ජනයාගේ ගැටලු විසදා ඔවුන්ගේ ජන ජීවිතය ඉහල නැංවීමට අවශ්‍ය නිර්දේශ ලබාගැනීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් මෙකී කොමිසම පත්කිරීම සඳහා බලපෑ ප්‍රධාන හේතු සාධකයක් වූයේ එවකට ඇමරිකානු ග්‍රාමීය ජනතාව මුහුණ දුන් ඉතා දැඩි ආර්ථික දුෂ්කරතාවයයි. මෙහිදී මෙකී හේතු පාදකව පත්කළ කොමිසම තුළින් ග්‍රාමීය ජනතාව පිළිබඳව පු`එල් ලෙස ගවේෂණය කොට සිය වාර්තාව සකස් කරන ලදි. 1912 වර්ෂයේදී ඇමරිකාවේ පැවැත්වූ ඇමරිකානු සමාජ විද්‍යා සංගමයේ රැස්වීම සඳහා මෙම කොමිසම් වාර්තාව ( Rural Life ) යන මාතෘකාව ඔස්සේ ඉදිරිපත් කර ඇත. මෙමගින් ග්‍රාමීය සමාජ විද්‍යාව අධ්‍යනයට අවශ්‍ය මූලික පදනම සකස් කරන ලද බැව් බොහෝ දෙනෙකුගේ මතය වූ අතර මෙකී ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන විද්වත් පිරිසක්ද මේ ඔස්සේ නිර්මාණය විය.
   
    එමෙන්ම ඇමරිකාවේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෆ්‍රෑන්ක්ලින් ගිඩින්ස් ( Franklin Giddings) ග්‍රාමීය ප්‍රජාව පිළිබඳ පර්යේෂණ සම්න්ධයෙන් උනන්දුවක් දැක්වූ අතර උපාධි නිබන්ධන සඳහා මෙකී ක්ෂේත්‍රයට අදාල මාතෘකා තෝරා ගැනීම කෙරෙහි ඔහු විසින් ශිෂ්‍යයන්ගේ අවධානය යොමු කරන ලදි. මෙහිදී වැරන් විල්සන් ( Warren H Wilson ) ෆ්‍රෑන්ක්ලින් ගිඩින්ස් යටතේ සිය ආචාර්ය උපාධි සම්පූර්ණ කිරීම සඳහා ඇමරිකානු ග්‍රාමීය ජන ජීවිතය අරභයා ලියැවුණු “ Quaker Hill. a sociological study 190” නම් වූ නිබන්ධනය ඉදිරිපත් කළ අතර ජොන් මොරිට්ස් ගිලටි ( John Morris Gillutee) විසින් ( Rural sociology :1914 , Rural sociology  :1922 යන ග්‍රන්ථයෝ ප්‍රකාශයට පත් කළහ. පොල් එල්. වොග්ට් විසින් ( Paul L. Vogt ) විසින් රචිත An Introduction to Rural sociology :1917, නිවෙල් ලී රොයි සිම්ස් ( Newell Leroy Sims ) විසින් ප්‍රකාශයට පත්කරන “ Elements of Rural sociology :1927” නම් වූ කෘතින්ද ග්‍රාමීය සමාජ විද්‍යාව පෝෂණයෙහිලා සුවිසල් වූ දායකත්වයක් සැපයිය. එසේම විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ ආචාර්ය චාල්ස් ජේ. ගැල්පින්ද ( Charla Josiah Galpin ) ද මෙකී විෂය ක්ෂේත්‍රය සංවර්ධනයෙහිලා විශාල දායකත්වයක් කිරීම සඳහා යොදා ගත හැක්කා වූ ක්‍රමවේදයක් ද ගොනගනු ලැබීය. ඔහු විසින් 1915 දී ප්‍රකාශයට පත් කළ “ The social Anotomy of an Agricultural Community ” නැමැති ග්‍රන්ථයෙහි එම ක්‍රමවේදය විග්‍රහ කොට ඇත. පසුකාලීනව ග්‍රාමීය සමාජ විද්‍යාඥයන් සංශෝධන සහිතව එකී ක්‍රමවේද භාවිතා කරන ලදි. ( chitumbar 1973,26) එසේම Rural Life :(1918) ගැලිපින් විසින් රචනා කරන ලද්දක් විය. එසේම ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවද ග්‍රාමීය සමාජ පර්යේෂණ සඳහා සහය ලබාදී ඇත. මේ සඳහා “ Farm population and Rural life” නම් වෙනම අංශයක් පිහිටුවා 1911 දී එහි ප්‍රධානියා ලෙස චාල්ස් ජේ. ගැල්පින් පත්කරන ලදි. 
         
       එසේම කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අවශ්‍ය පර්යේෂණ සිදුකිරීමෙහිලා නොකඩවා මූල්‍ය අරමුදල් ද යොදවා ඇත. එසේම 1937 වන විට Rural Sociological society නමින් සංවිධානයක් ද ඇමරිකා එක්සත් ජනපදයේ බිහිවිය. ඒ ඔස්සේ Rural Sociological නමින් සගරාවක්ද ප්‍රකාශයට පත් කළේය. කෘෂිකර්මය මහා පරිමාණ වශයෙන් ව්‍යාප්ත වීම නිසා එහි දියුණුවක් ඇතිවීම හා නවීකරණය වීම, නාගරිකරණය, තාක්‍ෂණික දියුණුව හා තාක්ෂණය ගමට ගලාගෙන ඒම, ග්‍රාමීය නාගරික සංක්‍රමණ හා සමාජ වෙනස්වීම යන හේතු සාධක පාදක කොටගෙන බටහිර සමාජවල ග්‍රාමීය සමාජ පරිවර්තනයන්ට ලක්විය. එහිදී කුඩා ගොවිපල වෙනුවට මහා පරිමාන ගොවිපල බිහිවූ අතර ග්‍රාමීය ජනගහනය කොටස් වශයෙන් නගර කරා සංක්‍රමණය වීම කැපී පෙණින. මෙකී හේතු සාධකත් කෘෂිකර්මාන්තය යාන්ත්‍රිකරණය වීමත්, පුද්ගල සබඳතා අවම වීමත් හේතුවෙන් 20 වැනි ශතවර්ෂය මැද භාගය වන විට ග්‍රාමීය සමාජ විද්‍යාව පු`එල් වෙනසකට බදුන් විය. විශේෂයෙන්ම ග්‍රාමීය සමාජ විද්‍යාව පිළිබඳව යුරෝපයේ වැඩි අවධානයක් යොමුවූයේ දේවැනි ලෝක යුධ සමයෙන් පසුවය. යුරෝපීය සමාජ විද්‍යාඥයින් මුල් කාලීනව ග්‍රාමීය සමාජ විද්‍යාව සම්බන්ධයෙන් වෙන්කර අදහස් දක්වා නැත. කෙසේ වෙතත් මෙකී විෂය ක්ෂෙත්‍රය ප්‍රචලිත වීම සඳහා ඇමරිකානු හා යුරෝපීය මානව විද්‍යාඥයන් අතර පැවති සම්බන්ධතා මෙන්ම මෙකී විෂය ක්ෂේත්‍රයට අදාලව ලියැවුණු ඇමරිකානු පොත්පත් යුරෝපය තුල ප්‍රචලිත වීමත් වැනි කරුණු කාරණා රැසක් බලපා ඇති බව පෙනේ.

1 comment:

My Photo Design